Saturday, January 12, 2013

ඔක්කොම සැට් වෙන ගම්පහ ගෙට්ටුව

ගම්පහ යනු බස්නාහිර පළාත තුල පිහිටා ඇති සිව්වන ස්ථානයට විශාලම නගරයයි. එය ගම්පහ දිස්ත්‍රික්කයේ අග නගරයද වෙයි. අතීතයේදී ගම්පහ යන නාමය වෙනුවට භාවිතා වී ඇත්තේ හෙනරත්ගොඩ යන නමයි.  කොළඹ රැකියාවෙහි නියුතු රජයේ සේවකයන් වැඩි ප්‍ර‍මාණයක් ගම්පහ පදිංචි කරුවන් වීම හෙයින්දෝ එය උගතුන්ගේ නගරය ලෙසද හදුන්වයි. ගම්පහ යන නම සෑදී ඇත්තේ එහි නමින් කියවෙන පරිදිම ගම්මාන 5 ක එකතුවකිනි. බහුතර අදහස අනුව ඉහළගම, පහළගම, මැදගම, අළුත්ගම සහ පට්ටියගම ලෙස ඒවා හැදින්වෙයි. නමුත් පට්ටියගම පිහිටා ඇත්තේ නගර සීමාවෙන් පිට නිසා පස්වන ගම ලෙස ඇතැම්හු  යාගොඩ ප්‍රදේශයද ඈදා ගනී.

සිරා උසස් පෙළ කරන අවදියේ ගම්පහ සංවර්ධනය එදා සහ අද යනුවෙන් කණ්ඩායම් ව්‍යාපෘතියකට රැස් කල තොරතුරු අනුව ගම්පහ ජීවත්වන අයගෙන් 80% පමණ දෙනා මාතර ප්‍රදේශයෙන් සංක්‍ර‍මණය වී ගම්පහ පදිංචි වූ අයය. මේ අයගෙන් බහුතරය වෙළදාමේ නියුක්තව සිටි පිරිසකි. සිරා කොලුවාගේ මවගෙ සීයාද ඒ අයුරින් මාතරින් ගම්පහට පැමිණි මුල් පුරුකකි. මෙයට අමතරව ශ්‍රීලංකාව පුරාම ගම්පහ නම කියවෙන්නේ  ගම්පහ බෙහෙත් ශාලා නිසාවෙනි. 1929 වසරේදී ආයුර්වේද චක්‍රවර්ති, භිෂග්රත්න, කව්රංජන, පණ්ඩිත් වෛද්‍ය ජී.පී වික්‍රමාරච්චි මැතිතුමා විසින් බිහිකල වික්‍ර‍මාරච්චි ආයුර්වේද විද්‍යායතනයෙන් බිහි වූ වෙදැදුරන් රට පුරා විසිරීමත් සමගම ගම්පහ බෙහෙත් ශාලාව යනුවෙන් බෝඩ් ලෑලිද  ඉහළට එසැවිනි.