Monday, November 16, 2015

හිතුවක්කාර ආදරය - 27 කොටස


"කව්ද ඉමාෂා කියන්නෙ"

එක මොහොතකට මා සිටි තැනම ගල් පිළිමයක් බඳුවූයේ ඇය ඇසූ ප්‍රස්නයත් සමගය. මම තප්පර කීපයක් නිහඬව ඇගේ කඳුලින් පිරි දෙනෙත් දෙස බලා සිටියෙමි. එම දෙනෙත් මගෙන් සඟවනා දෙය කුමක්දැයි මට නොහැඟුනත් මගේ හිත කැලඹූ කරුන වූයේ මා කීමටත් පෙර මොවුන් ඉමාෂා ගැන දැනගත්තේ කෙසේද යන්නය. මම පියුමිට වැරැද්දක් නොකලද මා තවත් විනාඩි කීපයක් නිහඬව සිටියේ මොවුන් දෙදෙනාට කෙසේ පිළිතුරු දෙම්දයැයි සිතමින්ය.

"ඇයි දිනුක අයියා ඔයා නිහඬ. මන් අහපුදේට උත්තර දෙන් නැත්තෙ ඇයි"
"පියුමි, මේ .."
"නිකන් බලු වැඩ කරන්න එපා මිනිහො. තමුසෙ මේ කෙල්ලට මෙච්චර දුකක් දෙන්න මේ කෙල්ල කරපු අපරාදෙ මොකක්ද. අපි කිව්වා නේද පියුමි උඹට. මේ කොල්ලව උඹට ගැලපෙන්නෙ නැහැ කියලා. උඹ විඳවපන් දැන් ඉතින්"
"ඔයාලට කවුරු හරි වැරදි දෙයක් කියල තියෙන්නෙ. මම ඉමාෂ ගැන කියන්නම්. කලබල නොවී ඉන්නකො"
"හොඳ වෙලාවට මේක දැන්ම අපි හොයා ගත්තෙ. පියුමි උඹ මර උගුලකින් බේරුනේ. මතක තියා ගනින් පියුමිව අඬවපු තමුසෙට යහතින් ඉන්න වෙන්නෙ නැහැ. කියනව බලන්න තමුසෙ මේ තවත් කෙල්ලෙක්ගෙ සැප හොයාගෙන ගියෙ මේකි මොනව කලාටද"
"හිරුණි, ඔයා ටිකක් නිහඬ වෙන්නකො. ඇයි දිනුක අයියා මට මෙහෙම දුකක් දුන්නෙ. කියන්න මට. මම ඔයාට කරපු වැරැද්ද මොකක්ද. කවුද මේ ඉමාෂා. කොහෙද ඔය කෙල්ල ඉන්නෙ. මට එයාව මීට් වෙන්න ඕනි"



මාගේ හා පියුමිගේ සම්බඳයට අකමැති කවුරු හෝ හරි අපූරු කතාවක් නිර්මාණය කර පියුමිට හා ඇගේ මිතුරියට පවසා ඇති බව මම ඔවුන්ගේ කතා විලාශයෙන් තේරුම් ගත්තෙමි. එවැනි දෙයක් කීරීමට හැකියාවක් ඇති පුද්ගලයෙකු පිළිබඳව මේ මොහොතේ මාගේ මතකයට නාවද මොවුන් දෙදෙනාටම ඇත්තම කතාව පහදා දීමට මම තීරණය කලෙමි. ඔවුන් මා ඇමතූ සමහර වචනයන්ගෙන් නැතිනම් මා සල්ලාලයෙකුයැයි සිතා මාගේ චරිතය නිර්වචනය කල සමහර වචන මාගේ සිත තුලටම කා වැදුනද ඒ සියල්ලම ඉවසා මා සිටියේ මා වැරැද්දක් නොකල නිසාවෙනි. එමෙන්ම මොවුන්ගේ සියලුම ප්‍රස්න වලට පිළිතුරු ඉමාෂාගේ සොහොන් කොතෙන් ලැබීවියැයි ස්තූ නිසා මා මොවුන්ව එම ස්තානයට රැගෙන යාමට සිතූවද එය ඉතා අසීරු කරුනක් වූයේ පියුමිගේ මිතුරිය වූ හිරුණි නිසාවෙනි. නමුත් අවසානයේ මා සමග ඒමට ඔවුන් කැමැත්ත ඵල කලේ මාගේ උත්සහය සාර්ථක වී මිස නොව පියුමිට මා පැවසීමට හදානා දෙය දැනගැනීමට තිබූ කුතුහලය නිසාය. තවමත් ඇගේ ඇස් කඳුලින් තෙත් වී තිබූ අතර ඔවුන් දෙදෙනා මා පිටුපසින් පැමිනියේ මා කොහේ යනවාදැයි හරි අදහසක්ද නොමැතිවය.

"දිනුක අයියා, ඇයි මේ ඔයා අපිව සොහොන් පිට්ටනියක් ළඟට එක්කන් ආවෙ"
"මෙයාගෙ වල කපන තැන කලින්ම තීරනය කරන්න වගේ.. කියනව බලන්න තමු.."
"හිරුණි. ටිකක් කලබල නොවී ඉන්න. මට තේරෙනව ඔයාගෙ තරහව සාදාරණයි. ඔයාල ගොඩක් දේවල් මට කීව. දැන් මට අවස්තාවක් දෙන්න කතා කරන්න. ඒ හින්දා ටිකක් නිහඬව එන්න මන් එක්ක"

මා ටිකක් සැර වූ නිසාදෝ ගැහැණු ළමුන් දෙදෙනාම නිහඬ වූයේ එකිනෙකා දෙස බලමින්ය. ඔවුනට මා කිරීමට යන දේ පිළිබඳව තේරුමක් නොතිබුනත් ඔවුන් බියක් සැකක් නොමැතිව මා සමහ මේ පාළු සොහොන් පිටියට පැමිනීම පිළිබඳව මම සිතින් ඔවුනට ගෞරව කෙරුවෙමි. ඉමාෂාගේ සොහොන ඉදිරියට පැමින මා නිහඬව මද වෙලාවක් එම සොහොන දෙස බලා සිටියේ මෙතුවක් කල් පියුමිට මේ ගැන නොපැවසුවාට සමාව යදිමින්ය. එමෙන්ම මා සමග පැමිනි පියුමි හා ඇගේ මිතුරියද මා අනුගමනය කරමින් නිහඬව සිටියේ පුදුම වූ දෙනෙතකින් යුක්තවය.

"ඉමාෂා පෙරේරා... කවුද මේ දිනුක අයියා. ඇයි ඔයා මේක අපිට පෙන්නන්නෙ"
"මේ තමා ඔයාල කිව්ව ඒ ඉමාෂා. හිරුණි මේ තමා ඒ ඔයා කිව්ව සැප ගන්න මම හොයාගත්තු කෙනා. එතකොට පියුමේ මේ ඉන්නෙ ඔයාට මීට් වෙන්න ඕන කිව්ව ඒ කෙල්ල. ඉමාෂා. ඔන්න මම එක්කන් ආවා. ඔයා කැමති දෙයක් එයාගෙන් අහන්න. එයා කියාවි. මම වැරද්දක් කලානම් ඔයාට එයා කියාවි."
"අ ... නේ ... "

මා එසේ පවසනාවාත් සමගම ඔවුන් දෙදෙනාම මා දෙස බලා සිටියේ අසරණ වූවන් ලෙසය. පියුමි හා ඇගේ මිතුරුය මාරුවෙන් මාරුවට ඇසූ ප්‍රස්න සියල්ලටම මම පිලිතුරු ලබා දුන්නෙමි. ඔවුන් ඇසූ සමහරක් ප්‍රස්න වලට මා හට පිළිතුරු ලබා දීමට තරමක් අපහසු උවද මා මට හැකි අයුරින් ඔවුනට පැහැදිලිකර දුන් අතර මාගේ ලඟින් සිටි මිතුරා වූ බ්‍රයන්ගේ කතාවද මම ඔවුනට පැවසුවේ ඒ අසලම ඇති ඔහුගේද සොහොන ඔවුනට පෙන්වමින්ය. ඔවුන් දෙදෙනා අතින් වැරැද්දක් වූ බව ඔවුනගෙන් වෙන්වී ගිය එම කඳුලු කැට වලින් කියවූ අතරම මගෙන් සමාව අයදිමින් මා දෙපතුල ලඟ වැඳ පියුමි වැඳ වැටුනේ මා නොසිතූ වෙලාවක ඇගේ මිතුරියවද පුදුමයට පත් කරවමින්ය. මා එය වලකාලීමට තැත් නොකලේ ඔවුන් ඉමාෂාට පහත් කොට කතා කල නිසාද නැතහොත් වෙනත් කාරනාවක් නිසාද යන්න මම නොදැන සිටියෙමි. එමෙන්ම මා බදා ඇගෙන් සිදුවූ වරදට සමාව අයැදමින් පියුමි අඬන්නට වූයේ පොඩි ළමයෙකු ලෙසිනි. පියුමිගේ මිතුරිය වූ හිරුණිද නොසිත ඇගෙන් සිදුවූ වරදට හා ඇය පැවසූ සමහර දේ වලට ඈ මගෙන් සමාව අයැද සිටි අතර ඇගේ සමාව නොපිලිගන්න තරම් මා කුරිරු නොවීය.



"අපිට සමාවෙන්න අයියා. කරුණු කාරනා හරියට නොදැන අපි හැසිරුන විදිහ ගැන අපි ලැජ්ජ වෙනවා"
"කොහොමද දිනුක අයියා මේ වගේ දෙයක් ඔයා දරාගෙන හිටියෙ. මට නම් හිතාගන්නවත් බැහැ. ඔයාගෙ කතාව ඇහුවහම ඒ වගේ දෙයක් මට උනානම් එහෙම මම එතනම මැරෙනවා. අනික ඇයි ඔයා මට මේ ගැන නොකිව්වෙ"
"ඉමාෂා මගේ මතකයක් විතරයි පියුමි. ඔයා මගේ ජීවිතේ. අපි මේ ගැන පස්සෙ දවසක කතා කරමු. දැන් ඔයාල යන්න. කළුවර වැටෙයි තව ටිකකින්. ඒ නිසා යන්න. මම තව ටිකක් වෙලා ඉඳල එන්නම්"

මගේ යෝජනාවට එකඟ වූ ඔවුන් දෙදෙනා මට සමු දී එම ස්ථානයෙන් නොපෙනී ගිය නමුත් මේ ගැන ඔවුනට පැවසුවේ කවුරුන්ද යන්න මා සිත තුල රැඳි නොවිසඳුනු ප්‍රස්නයක් විය. මම ද ඒ පිළිබඳව ඔවුනගෙන් ඒ වෙලාවේ නොඇසුවේ එය එම ප්‍රස්නය ඇසීමට නුසුදුසු වේලාවක් වූ නිසාය. විනාඩි කීපයක් සොහොන් පිටියේ ගතකිරීමෙන් පසුව මා අමිලව හමු වීමට ඔහුගේ නිවසට ගියේ හවස් යාමයේ සිදුවූ දේ ඔහුට පැවසීමටය.

"යාළුවා, කොහොමද ඉතින් පියුමි ඉමාෂා ගැන දන්නෙ"
"ඒක මම දන්නෙත් නැහැ අමිල. මට හිතාගන්න බැහැ. මම ඒ වෙලාවෙ කොහොමද දැනගත්තෙ කියල අහන්න ගියෙත් නැහැ"
"ම්ම්ම්.. ඒ වෙලාවෙ ඇහුවෙ නැති එකනම් හොඳයි. ඒත් උඹ පියුමිගෙන් අහල දැන ගනින් ඔය නිවුස් එක දැන ගත්තෙ කොහොමද කියලා. ඊට පස්සෙ අපි තීරණය කරමු අපි කරන්නෙ මොකක්ද කියලා"
"ඔව් ඔව් අමිල. මම ඒක පියුම්ගෙන් දැනගන්නම්. මන් ගැන මේ විදිහට ප්‍රචාරයක් යවපු එකා ගැන මටත් හොයාගන්න ඕන ඉක්මනටම"

ගැහැණු ළමයෙකුගෙන් ප්‍රථම වතාවට මා සල්ලාලයෙකු ලෙස නම් පට බැඳීම නිසාදෝ මගේ සිත පිරී තුබුනේ විස්තරාත්මකව ඉදිරිපත්කල නොහැකි හැඟුම් වලින්ය. මා තරමක් සංවේදීව සිටි නිසාදෝ මම පියුමි ගැන සියලුම විස්තර අම්මා ඉදිරියේ වැමැරුවේ ඇයගේ ඇකයේ හිසතබා සිටිනා අතර තුරය. මාගේ සම්පූර්ණ කතාව අවසානය තෙක්ම ඇය නිහඬව අසා සිටි අතර කල්පනාවෙන් මාගේ ඉදිරි ගමන සැලසුම් කරන ලෙස කියා සිටියේ මා එක වරක් යොවුන් ආදරය නිසා දුක් විඳි නිසා විය යුතුය. මා විතරක් නොව මාගේ එම කාලයේ මටත් වඩා මා ගැන අම්මා දුක් වූ නිසා විය යුතුය.

"ගැහැණු ළමයි ඔහොම තමා පුතේ. ඔයාට එහෙම කතා කලාට එයාල පසු තැවෙනවා ඇති. ඔයා ඒ ගැන හිතන්න එපා. ඔයා ඒ ළමයි නොදැන කල වරදට සමාව දුන්නනෙ. අනික පුතේ හෑ වෙලේම ඔය හිත දැඩිව තියාගන්න. කඳුළු එක්ක යාලු වෙන්න හදන්න එපා. එහෙම උනොත් ඒවටත් අගයක් නැති වෙනවා"

දවසක් දෙකක් පියුමිව හමු උවද ඇය මා දකිනා සෑම විටම ඇය අතින් සිදු වෙච්ච වරදට සමාව අයදිනවා මිස ඇය ඉමාෂා ගැන දැන ගත්තේ කෙලෙසදැයි මට නොපැවසීය. මා ඇයගෙන් එය වරක් දෙවරක් ඇසූවද ඇය කුමක් හෝ පවසමින් ඇය එය මග හැරියේය.ඇගේ මිතුරිය වන හිරුණිගෙනුත් මා එය නොවිසුවේ ඇය මා හා එතරම්ම සම්බන්දයක් නොතිබූ නිසාත් ඇයට මා එතරම්ම නොරුස්සන චරිතයක් නොවූ නිසාත්ය. පියුමිගේ මිතුරියන්ද පියුමි මා හා පවත්නා සම්බන්දයට එතරම්ම කැමැත්තක් නැති බව මම එදා ඇයගේ මිතුරිය වූ හිරුණිගේ මුවින් පිට්වූ සමහර වචන වලින් තේරුම් ගත්තෙමි. මගේ මිතුරන්ද එවැනි අදහසක් මා හිස තුල බොහොම මෑතකදී තැම්පත් කල අයුරුද මට මතකය. නමුත් ඒ ඇයිද යන්න මම නොදැන සිටියෙමි.

"ඔයා මට මෙච්චර ආදරේ කරලත් මම ඔයාව සැක කලා. මම එහෙම කලේ කොහොමද කියල මතක් වෙනකොට මට මාවම වාවන්නෙ නැහැ දිනුක අයියා"
"අයියෝ කෙල්ලෙ දැන් ඕක ඉවරයිනෙ. ඒක අමතක කරල දාන්න."
"හම්.. මට කියන්නකො ඒ අක්කි ගැන ටිකක්. එයා මොන වගේද. කොහොමද ඔයාල දෙන්න ආදරවන්තොයො උනේ"
"ඒක ලස්සන අතීතයක් පියුමි. ඒ අතීතෙට පණ දෙන්න මම ආයෙමත් කැමති නැහැ. ඒ මම ඔයාට ආදරේ කරන හින්දා. ඒ හා සමාන ආදරයකින්ම මට පිළිතුරු ලබෙන හින්දා"

මා එසේ පවසනවාත් සමගම ඇය ඇගේ ඇස් කඳුලින් පිරීගියේ ඇයිද යන්න මට නොතේරුනි. නිහන්ඩව මා දෙස ආදර බැල්මක් හෙලූ ඇය මට ආදරේයැයි පවසමින් මා දෙතොල් සිප ගත්තේ මා නොසිතූ මොහොතකය.

"මාව දාල යන්න එපා. මොනදේ උනත් මගේ ලඟින්ම ඉන්න. මේ කෙල්ල ඔයාගෙම තමා. ඔයාව පළවෙනියෙන්ම දකිනකොට මම කවදාවත්ම තිතුවෙ නැහැ ඔයාට මෙච්චර ආදරෙයි කියලා. ඇත්තමයි මේ ජීවිතේ එකම උරුමක්කාරයා ඔයාම තමා."
"හම්ම්ම්..."
"මොනාද අනේ හම්ම් ගාන්නෙ."
"නැහැ මම ඔය ලස්සන දෙතොල් දිහා බලාගෙන හිටියෙ"
"ආ... ඇයි ආයෙමත් ඕනිද .. ඉවසල ඉන්න හිතුවක්කාරයා, මේ සේරම ඔයගෙම තමා. ඒක නෙමේ ඔයා ඉමාෂ අක්කිටත් මේ වගේම ආදෙරේ කරන්න ඇති නේද. මේ විදිහටම එයාව තුරුල් කරන් ඉන්න ඇති නේද. මේ වාගේම ඔයා එයාව සිප ගන්න ඇති නේද. වෙලාවකට ඉතින් මට ඊරිසියත් හිතෙනවා. මොකද ඉතින් මට කලින් මේ තුරුලෙ වෙන කෙල්ලෙක් හිටියනෙ."
"මම කිව්ව වගේ.. ඒක ලස්සන අතීතයක් පියුමි. මම ඒ .."
"හරි හරි මම දන්නවා.. මට ඉමාෂ ගැන කිව්වෙ හිරුණි අක්කි. එයාට කව්ද කෙවින් කියල කොල්ලෙක් තමා කියල තියෙන්නෙ එයාලගෙ ගෙදර ඩිනර් එකකට ආව වෙලාවකදි."
"හිරුණි අක්කි... එයා ඔයාගෙ වයසෙ නෙමේද"
"අයියෝ නැහැ අනේ. එයා පොඩි වගේ පෙනුනට මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්."

පියුමිට අනුව හිරුණි හා කෙවින් ගේ පවුල් අතර තිබුනේ සමීපතම බැඳීමකි. හිරුණිගෙන් මා මේ දේ නොඇසීමට ඇය මා පොරොන්දු කරගත් නිසා පියුමි වුන් ගැන දන්නා සියලුම දේ මට පැවසුවේය. ඇය විස්තරකල ආකාරයට කෙවින් නරක චරිතයක් වූ අතර ඇයගේ මිතුරිය වූ පියුමි මීගමුවෙහි පදින්චියට පැමින තිබුනේ බොහොම මෑතකදීය.මා සිතූ ආකාරයට නොව ඔවුන් දෙදෙනා හමුවී තිබුනේ පර්ඝනක ඉගෙන ගැනීමට අප ආයතනයට පැමින විටය. හිරුණිගේ පවුලේ තොරතුරු පිළිබඳව විස්තරයක් කිරීමට තරම් පියුමි නොදැන සිටි අතර ඔවුන්ගේ බාප්පා කෙනෙකු රටේ බලවත් පුද්ගලයෙකු බව පැවසුවේ හිරුණි සමහර අවස්තාවලදී ඔහු ගැන තම මිතුරන්ට පුරසාරම් දෙඩවීම නිසාය.

කරුනු කාරනා කෙසේ වෙතත් මේ සිද්දියටත් කෙවින්ගේ සම්බන්දයක් ඇති නිසා ඔහුව මාගේ ඉදිරි ගමනට බාධාවක් වනවා නොඅනුමානය. එදා ඒ සිදුවූ දෙයට ඔහු මෙතරම්ම මගෙන් ප්ලි ගන්නේ ඇයිදැයි මට සිතාගතනොහැකි විය. නමුත් ඔහු මාගේ ජීවිතයට නොව පියුමිගේ ජීවිතයට අනතුරක් යැයි මගේ සිත පිළිගත් නිසා කෙවින්ව මගේ කතාවෙන් ඉවත් කර දැමීමට මම සිතුවෙමි. නමුත් එය මා තනිව කරන්නෙ කෙසේ ද යැයි එකවරම අදහසක් මට නොතිබුනු නිසා මම මගේ පරන මිතුරා වූ මොහොමඩ්ව ඇමතුවෙමි. මගෙන් ලද දුරකථන ඇමතුම ඔහු බලාපොරොත්තුවෙන් සිටි එකක් බම මට ඔහුගේ කතාවෙන් තේරුම් ගියේය. මා නැවතත් ඔහුට කතා කල එක පිළිබඳව ඔහු සතුටු වූයේ රටක ජනාධිපතිකම බාර දුන්නා සේය. සුපුරුදු පරිදි අප දෙදෙනා හමු වීමට වෙලාවක් වෙන් කර ගත්තේ අප සුපුරුදු ස්ථානයේදීමය.

"හිරුණි දුව කොහොමද අපේ වැඩේ.. දියුණුවක් තියනවද"
"මම හිතන්නෙ නැහැ බාප්පෙ"
"ඒ මොකෝ ඒ.. මොක්ද අවුල"
"මම හිතන්නෙ නැහැ ඒ කොල්ල බාප්ප කියන තරම් දරුණු චරිතයක් කියලා. දුක්බර අතිතයක් තියන ජීවිතේ එක්ක ලොකු සටනක් කරන පොඩි කොල්ලෙක්. මම හිතන් නැහැ බාප්ප මේ පාර ඇල්ලුවෙ හරි මිනිහ කියලා. අනික තාම පොඩි වයසක් තියන කොල්ලෙක්. මම හිතන් නැහැ ඒ කොල්ලා මේ රටේ කුඩු ජාවාරමේ ලොකු මොළ කාරයෙක් කියලා"
"දුව දන්නෙ නැහැ දිනුක ගැන. මට හොඳටම විස්වාසයි මිනිහ මේ ළඟදි උන සිද්දි සේරගෙම පිටිපස්සෙ ඉන්නවා කියලා. ඒත් ඒක ඔප්පු කරන්න තරම් සක්ෂියක් තාම අපිට නැහැ. අනික දිනුක කියන්නෙ මට මේ රටේ හම්බුන මිනිසුන්ගෙන් සුපිරිම මොළයකට හිමිකම් කියන කොල්ලෙක්"
"අනික බාප්පෙ, පියුමිත් ඒ කොල්ලට ඇත්තටම ආදරේ කරන්න පටන් අරගෙන. අනික බාප්පෙ ඒ කොල්ල ආදරේ කලේ ඔයාගෙ දුවට. නැතිනම් මගේ නංගිට. ඉමාෂට ඒ තරම් ඔයයි මායිවත් ආදරේ කරල නැතිව ඇති."
"මම ඒක දන්නවා දුව. ඒත් දිනුක කියන්නෙ ගුප්ත චරිතයක්. මොළකාරයෙක්. මට මිනිහ ගැන ඉව වැටුනෙ ගොඩක් කාලෙකට කලින්. මම හිතුවෙ නැහැ මගේම දුවට මිනිහ ආදරේ කරාවි කියලා. ඒ වගේම පිස්සුවෙන් වගේ මගේ දුවත් ඒ කොල්ලට ආදරේ කරාවි කියලා"
"හම්ම්ම්.. ඒත් ඒ අහින්සක කෙල්ල වරදක් නොකරම අපි අතරින් යන්න ගියා බාප්පෙ."
"අපි තව ටිකක් මේ විදිහට යන්න අරිමු. මේ වර්ණකුලසූරියට ඉවක් වැටුනොත් ඒ ගැන සැකයක් නැහැ කියල දුව දන්නවනෙ. මගේ මේ කෙස් සුදු උනේ අකාලෙට නෙමේ කියලත් දුව දන්නවනෙ."
"හම්ම්ම්.. මට පියුමි ගැන ඊරිසියත් හිතුනා බාප්පෙ. ඒ කෙල්ල එදා ඒ කොල්ලගෙ කකුල් ළඟ වැටුන විදිහට මට හිතුනා ඒ ආදරේ තියන ගැඹුර. ඒ වගේ ආදරයක් මට කවදා හිමිවේදෝ කියල මට හිතුන බාප්පෙ"



හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

No comments:

Post a Comment